Monday, March 28, 2016

දැන් බැලුවහම අන්තර්ජාල මාධ්‍යය හතරවෙනි ආණ්ඩුව නොවෙයි පළමුවෙනි ආණ්ඩුව වගේ, හැබැයි වැරදියට පාවිච්චි කර තමන්ටම ඇණගෙන විනාශ වෙන්නත් පුළුවන් -කතානායක කරු බ්ලොග් සම්මාන උළෙලේදී කියයි

--------------------------------------------------------------------------------------------

දැන් බැලුවහම අන්තර්ජාල මාධ්‍යය හතරවෙනි ආණ්ඩුව නොවෙයි පළමුවෙනි ආණ්ඩුව වගේ, හැබැයි වැරදියට පාවිච්චි කර තමන්ටම ඇණගෙන විනාශ වෙන්නත් පුළුවන් -

කතානායක කරු බ්ලොග් සම්මාන උළෙලේදී කියයි

තොරතුරු දැනගැනීමේ පනත අප ලැබූ ජයක්
(ලංකා ඊ නිව්ස් -2016.මාර්.28, ප.ව.5.45) 
http://www.lankaenews.com/news/3754/si
ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව  ඉතා ඉහලට ඔසවා තැබූ විශ්ෂ්ඨ සංධිස්ථානයක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත හැඳින්විය හැකි බවද එය සර්වසාධාරණ, විනිවිද පෙනෙන, යුක්ති ගරුක සමාජයක පදනම බවද කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා මෙම  අදහස් පලකලේ කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  26 දා පැවැති  ශ්‍රීලංකා  බ්ලොග්  අඩවි සංනිවේදකයින්ගේ සම්මාන  උළෙලෙහි ප්‍රධාන ආරාධිත ලෙස එක් වෙමිනි.
තොරතුරු දැන ගැනීමේ පනත මගින් සමාජ විනිවිද භාවය තහවුරු කිරීමට නූතන මාධ්‍ය මගින් විශාල උත්තේජනයක් ලබා දියහැකි බවද කථානායකවරයා පැවසීය. මෙම උළලෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසුරිය මහතා’
ඔබ නියෝජනය කරන තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රය අද ලෝකය පාලනය කරන ප්‍රබලතම මාධ්‍යක් බව කිව යුතුයි.   මීට දශක දෙකකට කලින් අනාවැකි පල වුණේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන කුළුණු තුන තමයි රටක් පාලනය කරන ප්‍රධානම අංග කියලා.  
සන්නිවේදනයේ දියුණුවත් එක්කල ලෝකය පාලනය කරන හතරවෙනි ආණ්ඩුව මාධ්‍යයයි කියලා අදහසක් ඇති වුණා.  හැබැයි අද වෙන කොට සන්නිවේදය නව තාක්ෂණය ඔස්සේ ලබලා තිබෙන දියුණුව වගේම ඒ තුලින් සමාජෙට දේශපාලනයට රටක තීන්දු තීරණවලට කරන බලපෑම දැකපුවහම  රටක් පාලනය කරන හතරවෙනි ආණ්ඩුව නෙවෙයි පළමුවෙනි ආණ්ඩුව මාධ්‍යයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය සමග තොරතුරු සන්නිවේදනයේ දී ඔබ කරන කාර්යය සමාජයේ විනිවිදභාවයට බොහෝ හේතු වෙලා තියෙනවා. 
තවදුරටත් කිසිවෙකුට කිසිවක් සැඟවිය නොහැකි තරමට ලෝකය අවදියෙන් තැබීමට   ඔබ දායක වෙලා තියෙනවා. ගෙවී ගිය කාලය ඇතුලේ සිදුවුණු ලංකාවේ වගේම ලෝකයේ මහා දේශපාලන සමාජ පරිවර්තනවල මූල බීජ ජනිත වුණේ ඔබ වැනි පිරිස් අතින්.
නමුත් මේ මාධ්‍යය පිහියක් වගේ ආයුධයක්.  යහපත් අරමුණු වෙනුවෙන් යොදාගෙන ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්.  ඒ වගේම තව කෙනෙක්ට හානියක් කරන්න ආයුධයක් ලෙස යොදාගන්නත් පුළුවන්. නැත්නම් තමන්ට ඇණගෙන තමාව ම විනාශ කරගන්න අවියක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

ඒ නිසා තමයි මේ ක්ෂේත්‍රයේ යහපත් භාවිතය අගය කරන මෙවැනි සම්මාන උළෙලවල් ඇගයීම් වැදගත් වෙන්නේ.  
විශේෂයෙන් ම පහුගිය කාලේ ඉතාමත් උතුම් මානව හිතවාදී අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්ලොග් අඩවි ක්‍රියාත්මක වුණු අවස්ථාවන් රාශියක් අපි දැක්කා.  යම් සිද්ධියක් වෙලා විනාඩි ගාණක් ඇතුලත අනිත් හැම මාධ්‍යයකට ම වඩා වේගෙන් ඒ පිලිබඳ තොරතුරු ලෝකෙට ගෙනියන්න ඔබට ශක්තියක් තිබෙනවා.  
මේ හැකියාව වඩ වඩාත් නිර්මාණශීලිව යොදා ගැනීම මේ සම්මාන උළෙලෙදී ඇගයීමට ලක්වෙනවා
මා කල්පනා කරන්නේ මේ ක්ෂේත්‍රය තව තවත් ඈත ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන අපේ දරුවන්ට සමීප කරවන්න ඕන කියලා. 
එහිදී මේ ආයුධය නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන මග පෙන්වන්නට ඔබ වැනි ප්‍රවිණයන්ට නායකත්වය ගන්න පුළුවන්. 
මොකද මේ ක්ෂේත්‍රයේ නරක ගැන පමණක් හිතලා ලෝකය ගමන් කරන මාර්ගයෙන් එලියට යන්න අපිට බැහැ.
ඊලග දශකයෙදි බිහි වන්නේ අපේ ගමට, අපේ රටට  සීමා වෙන දරුවො නෙමෙයි.  ඔවුන්ගේ සීමාව ලෝකය.  සමහර විට ඊටත් එහා යන්න පුළුවන්.  ලෝක දරුවෝ, විශ්ව දරුවෝ බිහි කරන යුගයට අපි ඇවිත් ඉවරයි.  
එතෙන්දි අපි සාම්ප්‍රදායිකව විශ්වාස කරපු, බැඳී සිටපු සමහර සමාජ පදනම් බිඳ වැටෙනවා.  අපිට ආගන්තුක පෙර නොවූ විරූ දේ අපේ සමාජෙට ඇතුල් වෙනවා. එතැනදි ඇති වන සමාජ කම්පනය උපේක්ෂාවෙන් විඳ දරා ගන්න මේ සමාජය සූදානම් කිරීමේ ලා විශාල වගකීමක් ඔබට තියෙනවා.  
අද දවසේ සම්මානයට පාත්‍ර වෙන හැම කෙනෙකුට ම සුභ පතනවා වගේම ඉදිරියටත් මෙම ක්ෂේත්‍රය නිවැරදිව භාවිතා කරමින් උතුම් අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් වැරදි දේට නිර්භයව පහර දෙමින් හොද දේ නිර්ලෝභීව අගය කරමින් මේ රටට, ලෝකයට සේවය කරන්නට  ඔබට හැකිවේවායි කියලා ප්‍රාර්ථනය කරනවා.
------------------------------------
by     (2016-03-28 12:43:57)

No comments:

Post a Comment